ළමා කාලයේ ඔබ හා අප කවුරුත් පෙරුම් පුරා බලා සිටි දින අතරින් ලෝක ළමා දිනය ද එකකි. එය අපට විශේෂ දිනයකි. ඔව් අති විශේෂ දිනයකි. පොත්පත්, ප්‍රශ්න පත්‍ර, වාර විභාග ආදිය මා නොදැනීම මගේ ළමා කාලය උදුරා ගෙන යද්දී, මා නිදහසින් ගත කළ දිනය ලෝක ළමා දිනයයි. නීති රීති වලින් තොරව සතුටින් ක්‍රීඩා කළ දිනය ද එයයි.

පාසල් යාමට පෙර මා ළමා දින අත්දැකීම් ලැබුවේ නිවැසියන් සමගය. 2007 වසරේ රාජකීය විද්‍යාලයේ පළමු ශ්‍රේණියට ඇතුළත් වීමත් සමඟ මාගේ ජීවිතයට නව පරිච්ඡේදයක් එකතු විය. එම වසරේ ඔක්තෝම්බර් මස පළමුවැනි දින සංවිධානය කර තිබූ ලෝක ළමා දින උත්සවය මට අදටත් මතකය. එහි සියලු අවස්ථා අපි වෙනුවෙන් ම සංවිධානය කර තිබුණි. එදින මාගේ පන්තියේ යහළුවන් සමග පමණක් නොව අනෙකුත් එක ශ්‍රේණියේ යහළුවන් සමග ද අප සතුටු වූයේ මෙයට පෙර දන්නා හඳුනන අය සේය. සිංහල මාධ්‍යයේ මෙන් ම දෙමළ මාධ්‍යයේ සිසුන් ද එදින අප අතර විය. එකමුතුකම, සහෝදරත්වය, සහජීවනය, ඉවසීම ආදී සියලු අත්දැකීම් වලින් මා ඔපවත් වූයෙමි. විටෙක මම බිම වැටී අඬමින් නැගී සිටිය ද නැවතත් සෙල්ලම් කිරීමට ම ගියෙමි. එය සුන්දර අතීතයකි.මිහිරි අත්දැකීමකි.

කාලය ක්‍රමයෙන් ගෙවී යද්දී ශ්‍රේණියෙන් ශ්‍රේණියට පිය නගිමින් 2011 වසරේ දී මම  පස්වන ශ්‍රේණියට පියනැගුවෙමි. මා දැන් ටිකක් ලොකු ය. මෙහිදී මම 3 හා 4 ශ්‍රේණි වල මල්ලිලා සමඟ ප්‍රාථමික අංශයේ ක්‍රීඩාංගනයේ සෙල්ලම් කළෙමි. එදා උත්සවය තවත් ලස්සනය.මුළු ක්‍රීඩාංගනය ම පාට පාට බැලුම් බෝල වලින් සරසා තිබුණි. 3, 4 හා 5 ශ්‍රේණි වල සියලු දෙනා එහි සිටියහ.ඔවුහු ජාතික ඇඳුමින් ද, විශේෂ උත්සවයකට යන ලෙස ද, පහසු සරල ඇඳුමින් ද එදින අපි සැරසී සිටියහ. දෙමව්පියෝ කෑම බීම හා රසකැවිලි රැගෙන ආහ. අපි නැටුවෙමු.සින්දු කීවෙමු. සෙල්ලම් කළෙමු. දිනපතා සවන් දී නීරස වූ  ‘අයනු,ආයනු’ එදා ඇසුනේ නැත. පාසලේ සැම තැන ම ළමා ගී හා ප්‍රීතිඝෝෂා ඇසුණි.

මා දැන් තවත් ලොකුය. 2012 වසරේ දී මම  6 ශ්‍රේණියට ගියෙමි . එම වසරේ ළමා දිනයේ දී අපේ දෙමව්පියෝ පෙර මෙන් අප වටා නොසිටියහ. අපි තනියම වැඩ කළෙමු. අපි ම ගෙදරින් කෑම බීම රැගෙන ආවෙමු. ගුරුවරු අපට ඒවා බෙදා ගැනීමට උදව් කළහ. අපි ඒවා බෙදාගෙන කෑවෙමු.අපේ ගුරුතුමිය අපට තෑගි දුන්නාය. අපි ඉතා සතුටින් ඒවා ලබා ගත්තෙමු. ගුරුතුමිය ද අප සමග ගී ගයමින් අත්පොලසන් දෙමින් තව තවත් උද්යෝගිමත් කළාය.

මෙලෙස 7 , 8 , 9 ශ්‍රේණි වල දී ද අපි ළමා දිනය සැමරුවෙමු. මේ හැම ශ්‍රේණියකම අපේ ගුරුවරු අපට තෑගි දුන්හ. මෙම වසර වල ළමා දිනයන් හි මා නිවසින් පිට වන විට පොත් මල්ලට දැමුවේ විවිධ ආකාරයේ බෝල වර්ග හා ක්‍රීඩා භාණ්ඩය. ක්‍රිකට් පිත්ත අතට ගනු ලැබුවේ “අද මට බනින්න බෑනේ” යැයි සිතා හොර ඇසින් අම්මා දෙස උපහාසාත්මකව බලමින් ය. මෙම කාලයේ අපට රුචි ලෙස අපගේ සෙල්ලම් සිදුවිය. ඒවායෙහි නායකත්වය දැරීමට ද අපට අවස්ථාව උදා විය. මෙය ද අපූරු සුන්දර වූ අත්දැකීමකි.

10/11 ශ්‍රේණි වල ළමා දිනයන් හි අපි පළමු පරිච්ඡේදයේ පමණක් පංති කාමරයේ සිටියෙමු. නමුත් අපි සැවොම ක්‍රීඩා නොකළෙමු.පිරිසක් ක්‍රීඩා කළහ. පිරිසක් එක්රොක් වී කතා කරමින් සිටියහ. තවත් පිරිසක් එදින ද සමිති සංගම් වල සාකච්ඡා වල යෙදුණහ.අපි සැවොම එකට ක්‍රීඩා නොකළද, එකට විනෝද නොවූව ද අප අතර සිටි බහුතරයක් එදින පාසලින් පිට වූයේ සුදු ඇඳුම අඳුරු කරගෙනය.

අ.පො.ස සාමාන්‍ය පෙළින් පසු ළමා දිනයන්හි අපි තවත් නැවුම් අත්දැකීම් ලැබුවෙමු. මේ වන විට මා පාසලේ සමිති සංවිධාන බොහොමයක සාමාජිකයෙකි. අලුත් යහළුවන් විශාල පිරිසක් දැන් මා සමගය. දිනෙන් දින අලුත් යහළුවන් ,අලුත් ගුරුවරු, අලුත් සමිති සංගම්, අලුත් ක්‍රියාකාරකම් මම දුටුවෙමි. දැන් සංගම්වල සමරු කලාප සකස් කරන්නේ ද,සඟරාවලට ලිපි ලියන්නේ ද, සංගම් වල උත්සව සංවිධානය කරන්නේ ද අපිම ය. මේ සඳහා අපට පාසල ඇතුළත මෙන් ම පිටත අයගේ ද උදව් ලබා ගැනීමට සිදු විය.පාසලෙන් හිමි වූ යහපත් සමාජානුයෝජනය එයට රුකුළක් විය. දැන් අප ඉතා ක්‍රියාකාරී ය. කාර්යබහුලය. එපමණක් නොව මතු වන ගැටළු සාමකාමීව විසඳීමට පවා අපට හැකිය. විදුහල් මාතාව අපට ලබා දුන් මෙම සුවිශාල අත්දැකීම් මාලාව සිහි වන විට මා දිගු සුසුමක් හෙළන්නේ ස්තූති පූර්වක ය. ‘රාජකීය විද්‍යාලය-රාජකීය විද්‍යාලය’ යැයි නැවත නැවත රැව් පිළිරැව් දෙන්නා වූ ඒ භක්ති පූර්ව විදු මව අපට ලබා දුන් අත්දැකීම් වල දැනුමෙන්, චින්තනයෙන්, අදහස් උදහස් වලින්, භාෂාවෙන්, සන්නිවේදනයෙන් හා මෙකී නොකී සියලු අංශවලින් තම දරුවන් ඔසවා තැබුවේ අනෙකුත් සියලු පාසල් වල දරුවන් අභිබවා රාජකීය ශ්‍රී නාමය සදා අමරණීය කරවමින්ය. මෙයට පෙර ළමා දිනවලදී අප පාසලට ඇතුළු වන විට අපට සුබ පතන්නේ ශිෂ්‍ය නායක අයියලාය. අද එම අයියලා අපි වෙමු. එහෙත් නොසිතූ ලෙස එම සජීවී සුබ පැතුම් අවස්ථාව ඔබට ලබා දීමට වරම් නොදී හරස් වූ කොරෝනාව, අප සැම නිවෙස් අඩස්සියේ ම තබා ඇත. කෙසේ නමුත් අප ලද එම සුන්දර අත්දැකීම් ඔබටත් ලබා දීමට යුතුකම් නොපිරිහෙලා ඉටු කිරීම අපගේ වගකීමය. මක් නිසා ද යත් ඔබත් අප මෙන් ම රාජකීය සහෝදරයන් වන නිසාය. මෙවන් වටිනා අත්දැකීම් රාශියක් අපට උරුම කර දීමට දිවා රෑ නොබලා ඇපකැප වී උදාර සේවයක් ඉටු කර, නොමද සහයක් ලබා දුන් ගුරුභවතුන් මෙම අවස්ථාවේ මා සිහි කරනුයේ සදා කෘතඥ පූර්‍වකවය.

ඉතින් ආදරණීය මල්ලියේ ඔබ සැමට සුබ ළමා දිනයක් වේවා !